පළමු දේව පණත - දේව වන්දනාව

                      පළමු දේව පණත

                       දේව වන්දනාව

-----------------------------------------------------------------------

හැදින්වීම ?

කිතු  දහම අනුව මුළු විශ්වයට අධිපති වූ ද එයට හේතු වූ ද එකම පුද්ගලයෙක් සිටී. සර්වබලධාර ඒ තැනැන්වහන්සේ සියල්ල දන්නා සේක. සියල්ල මෙහෙයවමින් පාලනය කරන සේක. එතුමනට සමාන කිසිවෙක් නැත. 

කිතු දහමේ හදුන්වා දෙන දෙවි මහෝත්තමයාණෝ සර්වබලධාරයහ, සර්වඥානයෙන් යුක්තයහ,සර්වකාලිකයහ.එතුමනට ආරම්භයක් හෝ අවසානයක් හෝ නොමැත,සීමාවක් නොමැත. සියලු දෙයට නායකයාණෝ ඔවුන්වහන්සේමය. 

මෙවැනි පුද්ගලයකු සිටිය යුතු බව විශ්වයේ සියුම් සැලැස්ම විග්‍රහ කර බලන කළ පෙනී යයි. හේතුප්‍රත්‍යය අනුව අනිත්‍ය යමක් මෙහෙයවනු ලබන්නට නිත්‍ය යමකු සිටිය යුතුය. විශ්වය තුළ සියල්ල අනිත්‍යය. එසේනම් ඉන් බැහැරව ක්‍රියා කරන තැනැන්වහන්සේ නිත්‍ය ය. එසේ හෙයින් එතුමාණෝ අසමසමයහ. එතුමාණෝ පමණක් දෙවියෝ ය. 

මේ අනුව කිතු දහමේ දෙවිවරු නොවෙති. ඇත්තේ එකම දෙවියෝය.


   උත්පත්ති 17/1

   නික්මයාම 3/14

   නික්මයාම 20/2,5

   නික්මයාම 10/17

   ජෙරමියස් 10/10

   මතෙව් 19/26

   ලූක් 18/27

   දානියෙල් 2/47


පළමු දේව පණත කිමෙක් ද ? 


එය මෙසේය. සැබෑවූ එකම දෙවිදුන් පමණක් වන්දනා කරන්න.


     නික්මයාම 20/2-3

"වහල්කමේ නිවාසය වූ මිසර දේශයෙන් නුඹ පිටතට ගෙනා ස්වාමීන්වහන්සේ මමය. මා හැර අන් කිසිම දෙවි කෙනෙකු නුඹට නොසිටිය යුතුය."


පළමු දේව පනතෙන් අපට නියම වන්නේ කිමෙක් ද ? 


දෙවිදුනට පමණක් වන්දනා නමස්කාර කරන්නට අපට එයින් නියම වන්නේය.


       ලූක් 4/8

"ජේසුස්වහන්සේ පිළිතුරු දෙමින් ' නුඹේ දෙවි වන ස්වාමීන්වහන්සේ ට නමස්කාර කරන්න. උන්වහන්සේට පමණක් සේවය කරන්න කියා ලියා ඇතැ' යි ඔහුට වදාළ සේක."


අප දෙවිදුන් නමස්කාර කරන්නේ කෙසේද ?


අපගේ මැවුම්කරු ද ස්වාමීන් ද නායකයාණන් ද සැටියට ඔවුන්වහන්සේ පිළිගෙන ගරු බුහුමන් දැක්වීමෙන්ය.

දෙවිදුන් හැරුණු විට අන් කිසිවකුට අපි වන්දනා නමස්කාර නොකරමු. ක්‍රිස්තුන්වහන්සේටද එම නමස්කාරය හිමි වනුයේ ඔවුන්වහන්සේ මනුකය ගත් දෙවිදුන් නිසාය. දිව්‍ය සත්ප්‍රසාදය ද අප ගරු කරන්නේ ක්‍රිස්තුන්වහන්සේ එහි ජීවමානව වැඩ සිටින නිසාය.


     එලිදරව්ව 5/13


" තවද ස්වර්ගයෙහිද පොළවෙහිද පොළව යට ද මුහුදෙහි ද යන මුළු ලෝකයෙහි ඇති සියලු සත්ත්වයන් ' සිංහාසනයෙහි වැඩ සිටින තැනැන්වහන්සේටත් , බැටළු පෝතකයාණන්ටත් , ප්‍රශංසාව ද ගෞරවය ද පරාක්‍රමය ද සදහටම වේවා ' යි කියනු ඇසීමි. "


මරියෝත්තමාවන්ටත් ශුද්ධවරයන්ටත් ගරු බුහුමන් දැක්වීම දේව පනතින් තහනම් කෙරේ ද?


දෙවිදුනට පමණක් හිමි නමස්කාරය ඔවුනට නොදක්වා ගරු බුහුමන් දැක්වීම වරදක් නොවේ.


අප ශුද්ධවරයන් ගරු කරන්නේ කිම ද ?


අප ඔවුනට ගරු කරන්නේ කිතුනු වීරයන් සැටියටත් දේව මිත්‍රයන් සැටියටත්ය. දෙව්මැදුරක අප දකින ප්‍රතිමා එම ශුද්ධවරයෝ නොවෙති. ඒවා ඔවුන්ගේ ලාංඡන පමණෙකි. සේයාරුවක් ගරු කිරීමෙන් එහි දැක්වෙන පුද්ගලයාට අප ගරු කරන්නාක් මෙන්ම ප්‍රතිමාව ඉදිරියේ අපි එම ශුද්ධවවන්තයාට ගෞරව කරමු. දේව මිත්‍රත්වය හිමි කැරගත් පුද්ගලයන් ගරු කිරීමෙන් අපි දෙවියන්ම ගරු කරමු. ශුද්ධවන්තයෝ දෙවිදුන් ඉදිරියෙහි සිටින්නාහ. එහි සිට දේව කරුණාවත් ආශිර්වාදයත් අපට ලබා දෙති. 


     එලිදරව්ව 3/21


" මා ජයගෙන පියාණන්වහන්සේ සමග ,උන්වහන්සේ ගේ සිංහාසනයෙහි හිද ගත්තාක් මෙන් ජයග්‍රාහකයාට ද මාගේ සිංහාසනයෙහි මා හිදගැන්මට දෙන්නෙමි. "


අප ශුද්ධවන්තයනට බුහුමන් දක්වන්නේ කෙසේ ද ?


එතුමන්ගේ ජීවිතය ආදර්ශයක් කැර ගනිමින්  ද එතුමනට යාච්ඤා කරමින් ද එතුමන්ගේ ශුද්ධ ධාතු හා ප්‍රතිමා හා ගරු කරමින් ද ශුද්ධවන්තයනට අපි බුහුමන් දන්වමු.  


      මතෙව් 9/21


" එසේ කළේ උන්වහන්සේගේ සළුවට පමණවත් අත තැබුවහොත් මට සුවය ලැබෙනු ඇතැ ' යි ඈ සිතාගත් බැවිනි. "


මරියෝත්තමාවනටත්  ශුද්ධවන්තයනටත් යාච්ඤා කොට එතුමන් ගෙන් අප ඉල්ලුම් ⁣කරන්නේ කිමෙක් ද ?


අප වෙනුවෙන් දෙවිදුන් ඉදිරියේ යාච්ඤා කරන ලෙසයි.  මරියෝත්තමාවෝ ද ශුද්ධවන්තයෝ ද අපට විශේෂ ප්‍රේමයක් දක්වති. දෙවියන්වහන්සේගේ විශේෂ මිත්‍රයන් සැටියට ස්වර්ගයෙහි සිට ඔවුන්.කරන යැදුම් බලගතුය.


ප්‍රතිමා ඇඹීමත් චිත්‍ර ඇදීමත් පළමු පනතෙන් තහනම් වන්නේ කවර විට ද ?


රූප වන්දනාවට තුඩුදෙන අවස්ථා වෙතොත් එසේ කිරීම තහනම් වන්නේය.


       1 ජොහාන් 5/21


" මාගේ ප්‍රිය දරුවෙනි , බොරු දෙවිවරුන්ගෙන් පරිස්සම් වී සිටින්න. "


ප්‍රතිමා හා චිත්‍රවලට ගරු කිරීම වරදෙක් ද ?


නැත. අප දෙමාපියන් වැනි උතුමන් ගේ ද සේයාරූවලට එසේ ගරු කිරීම උතුම් ක්‍රියාවෙකි. ප්‍රතිමාවකට හෝ සේයාරුවකට හෝ ගරු කිරීමෙන් අප ගෞරවය දක්වන්නේ එම මැටි පිළිමයට හෝ කඩදාසියට හෝ නොව - එයින් පෙන්නුම් කෙරෙන උත්තමයාටය. ප්‍රතිමාවෙන් කෙරෙන්නේ එම උත්තමයාණන් අප සිහියට නැංවීම පමණෙකි. මේ නිසා ප්‍රතිමා ගරු කිරීම රූප වන්දනාවක් නොවේ.


එහෙත් ප්‍රතිමා , පදක්කම් (බොරලික්කම්), පින්තූර යනාදිය යන්ත්‍ර මන්ත්‍ර ලෙස සැලකීම වරදෙකි. ඒවායේ අඩංගු වී ඇති විශේෂ බලයක් නොමැත. ඒවා ශුද්ධවවත් වනුයේ සේවාශිර්වාදයෙන් පමණෙකි. 


මරියෝත්තමාවනට අප ගරු කරන්නේ කෙසේ ද ? 


සියලු ශුද්ධවන්තයනට ඉහළින් එතුමීට ගරු කරමු. එහෙත් එතුමියට වන්දනා නමස්කාර නොකරමු.

මරියෝත්තමාව දෙව් මව වීමේ මහිමය හිමි කැරගත් නිසා අන් සියලු සක්වයනට ඉහළින් ඕතොමෝ වැජඹෙන්නීය. මේ හේතුවෙන් එතුමියට අත් ශ්‍රේෂ්ඨ ගෞරවයක් හිමි වන නමුත් ඕ තුමී ද දේව මැවිල්ලකි. එම නිසා එතුමිය ද නමස්කාර නොකරනු ලබන්නීය.


කිතු සමිදුන්ගේ මාතාවන් සැටියට කිතුනුවන් කෙරෙහි එතුමිය විශේෂ ආදරයක් දක්වන බව නොරසසෙකි. මරියතුමියට ගෞරව කිරීම පිණිස ' නමෝ මරිය ' උච්චාරණය කිරීමත් ජපමාලය උච්චාරණය කිරීමත් පැසසුම් කටයුතුයි. මරියෝත්තමාවෝ සෙසු සියල්ලනට වඩා කිතු සමිදුන් ඉදිරියේ බලගතු වන්නාහ. 


    ලූක් 1/48-49


" කුමක් නිසාද , එතුමාණෝ සිය දාසියගේ දීනතාව සලකා වදාළ සේක. හැම පරපුරක්ම  මෙතැන්  සිට භාග්‍යවන්තීය 'යි කියනු ඇත.


"පරාක්‍රමයාණෝ මා උදෙසා මහත් දේ කළ සේක. 'පාරිශුද්ධයාණෝ' යනු එතුමන්ගේ නාමයයි."


(දේවධර්මාචාර්ය අති උතුම් ඔස්වල්ඩ් ගෝමිස් අගරදගුරුතුමන් විසින් රචිත මහෝපදේශය කෘතියෙන් උපුටා ගත් කොටසකි.)


2 කොටස බලාපොරොත්තුවන්න...


පේජ් එකටත් ලයික් කරලා එකතු වෙන්න අමතක කරන්න එපා. 👍






Comments

Popular posts from this blog

මූලධර්මවාදීන් විකෘති කරන මරිය මාතා බැතිය

එකම උත්තරයයි ඒ ජේසු